ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, July 30, 2015

වෙඩින් පාඩම්

පහුගිය දවස් කිහිපය ඇතුලෙ පොඩි පොඩි පාඩම් ටිකක් ඉගනගත්තා වෙඩින් ගැන. ඇත්තටම සමහර පාඩම් නිකන්ම කතාකර ඉඳිද්දි කතාවුන ඒවා උනාට ටිකක් හිතල බැලුවම ඒවා එක්ක ගන්න ගොඩක් දේවල් වගේම මගේ හදාගන්න ගොඩක් දේවලුත් මම දැක්කා.අවුරුද්දකට විතර කලින් වෙඩින් ගැන ලිව්වා මතක ඇති.බොහෝ විට මතක නැතුවත් ඇති.ඒ නිසා ඒකට වැඩි යමක් එකතු කරන්න හිතුවා.
ඒ ගොල්ලෝ කියපු දේවල් හා ඒත් එක්කම මට හිතිච්ච දේවල් එක්ක මේ පෝස්ට් එක ලියන්න  හිතුවෙ wedding photography  වර්තමානයේ නොයෙක් අය නොයෙක් ආකාරයෙන් අලුත් දේවල් අත්හදා බලන field එකක් බවට පත් වෙලා තියෙන නිසා. නොයෙක් ආකාරයේ  අදහස් තියෙන කීප දෙනෙක් කියපු දේවල් එක තැනකට ගේන්න හිතුවෙ මෙතැනට නොයෙක් අදහස් තියෙන අය නිතරම එන නිසා.
අනම් මනම් අඩු කරලා කෙලින්ම කතාවට බහිමු.

Wedding Pre-Shoot
විදර්ශන රත්නායක අයියාගේ අදහස් ඇසුරෙන්..... Vidarshana Rathnayake Photography
Wedding එකක් කියන්නේ ගොඩක් වෙලාවට දෙන්නෙක් ජීවිතයේදී ෆොටෝ වලට මුහුණදෙන  විශේෂතම අවස්තාව වගේම දෙන්නෙක් ගොඩක් වැඩ නිසා ඔලුවේ ගොඩක් දේවල් තියාගෙන ඉන්න ප්‍රෙෂර් එකෙන් ඉන්න දවසක්. ඒ වගේම මම අත්දැකීමෙන්ම දන්නවා සමහර වෙලාවට කොතරම් හොඳට plan හදාගෙන ගියත් සමහර වෙලාවට මනමාලියව ලස්තිකරලා දෙද්දී හුඟක් පරක්කු වෙලා. එහෙම  නැතත් ඔක්කොම හොඳින් වෙද්දී වදකාර නෑදෑයෙක් හරි ඇවිල්ලා වැඩ දෙන පටන් ගනීවි. ඉතින් ඔය වගේ නොයෙක් හේතු නිසා හෝ සමහරවිට කපල් එකටත් කැමරාව එතරම් හුරු නැත්තන් එතැනදී අපේ මංගල චායාරුපශිලිපියාට තමන්ගේ උපරිමයෙන් වැඩ පෙන්නන්න බැරි වෙනවා. විදර්ශන අයියාගේ අදහසනම් ඒ වගේ හේතු මග අරගෙන තමන්ගේ හැකියාව උපරිමෙන් පෙන්නන්න හොඳම අවස්තාවක් තමයි pre-shoot එකක් කියන්නේ. ඊට අමතරව ගත්තම වෙඩින් එකට කලින් මේ වගේ දෙයක් කලාම කපල් එක කැමරාව ඉස්සරහා පෙනී හිටින්නත් ටිකක් පුරුදුවෙනවා, ෆොටෝ ගනිද්දී අපි දකින ලොකු අව්ලක් තමයි සමහර කපල් කැමරාව ඉස්සරහ පොඩ්ඩක් ලජ්ජාවෙන් ඉන්නවා වගේ පෙනෙන එක. ඒක නැති කරගෙන ඒ දෙන්නගේ ස්වභාවික හැගීම් ඉස්මතුකරගන්න හොඳ ක්‍රමයක් තමයි pre shoot එකක් කියන්නේ එහෙම බැලුවම.
මමනම් හැමදාම ආස කලේ ස්වභාවිකත්වය, ස්වභාවික හැගීම් පෙන්වන ෆොටෝවලට. ඊට අමතරව දැන් සමහර ශිල්පීන්ගේ වැඩවල වෙනස්කම් තියනවා. වෙනස් කල පසුතල, එඩිට් එකේදී ගන්න ලයිට් ඉෆෙක්ට්. අහස තද පාට කරන එක වගේ දේවල්. මේ වගේ දේවල් ඇහැට පෙන දේවල් නෙමෙයි. නමුත් ෆොටෝ අරගෙන එඩිට් කරද්දී කරපු වෙනස්කම් තමයි ඒවා. සමහර අය දැන් වෙඩින්වල HDR පවා කරනවා. ඒවා කරන්නේ ඉතින් ඒවාට ආස කට්ටියත් ඉන්න නිසානේ. අපේ අසංක හෙන්දහෙවා මලයා කියනවා ඉතින් හැමදාම දකින දෙයට වඩා වෙනසක් දකින්න මිනිස්සු කැමති ඇතිනේ කියලා...... එහෙමත් වෙන්න ඇති නේ ?


ඩිලන් එක්ක කතා කරද්දී ගොඩක් වැදගත් දේවල් ටිකක් නිකන්ම්ම වගේ දැනගන්න ලැබුනා. විශේෂයෙන්ම අපි flash පාවිච්චි කරද්දී අපි අතින් වෙන වැරදි අඩුපාඩු ගැන ගොඩක් දේවල් ඩිලන් එක්ක කතාවෙන් මට හදාගන්න පුළුවන් උනා.
ඉස්සර මම හිතුව දෙයක් තමයි බර ගානක් දීලා ttl flash ගන්න කෙනෙක් මොන එහෙකටද මැනුවල් පාවිච්චි කරන්නේ කියලා. එකට උත්තරයත් මට ලැබුනා. ඒ වගේම මම හිතපු දෙයක් තිබ්බා මුලින්ම පටන් ගනිද්දී හෝ flash කිහිපයක් පාවිච්චි කරද්දී අමතර flash ටික හොඳ වර්ගයේ නැතුව තුන්වන පාර්ශවිය ඒවා , ඒ කියන්නේ ගණන් අඩු ඒවා පාවිච්චි කිරීම ගැන. ඒ ගැනත් යම් පැහැදිලි කිරීමක් මට ඩිලන්ගෙන් ලැබුනා. 
ඩිලන් කියන විදියට එයා පාවිච්චි කරන්නේ එයාගේ කැමරාවට අයිති වර්ගයේ ( කැනන් ) flash විතරයි. එ වගේම මැනුවල් පාවිච්චි කරන්නේ. මේකට හේතුව තමයි මැනුවල් යද්දී flash එකෙන් පිටකරන්නේ අපි එකේ හදන ප්‍රමානයේම ආලෝකයක් නිසා එකම තැනක ඉඳලා අපි එකම එක්ස්පොසර් එකක් යටතේ ෆොටෝ ගනිද්දී ඒ හැම ෆොටෝ එකකම ආලෝක තත්වය එක සමාන වෙන නිසා ඒවා එඩිට් කරන්න බොහොම ලේසි වෙනවා. ඒ වගේම ඇල්බම් එකකදී පිටුවෙන් පිටුව පාට වෙනස් උනොත් එක අවුල් වගේනේ. එකෙන් බේරෙන්නත් මෙතැනදී හැකියාව ලැබෙනවා.
එහෙම ගත්තම ලොකුවට නොදැනුනාට ලොකු වෙනසක් එතනම වෙනවා. 
අනික තමයි ඔරිජිනල්ම flash පාවිච්චි කරන්න හේතුව තමයි , 3rd party flash එකක් එක දිගට වෙලාවක් පාවිච්චිකරද්දී එකේ ටියුබ් එක සහ ඇතුලේ තියන දේවල්වල තත්වය හේතුවෙන් එකෙන් පිටවන ආලෝකය සහ එහි වර්ණයේ වෙනස්කම් ඇතිවෙන්න ඉඩ තියනවා. එතකොට මම උඩ කියපු ප්‍රශ්න ටික ඇතිවෙන්න පුළුවන්. ඒ අඩුපාඩුව නොවෙන්න තමයි ඔරිජිනල් flashම පාවිච්චි කරන්නේ.
ඉතින් ඔබත් කොලිටිය තිතටම බලාපොරොත්තු වෙනවනම් කරන්න ඕන මොකක්ද කියන එක දැන් තේරෙනවා ඇතිනේ.

දිලිප් කුමාර් Dilip Kumar Photography
දිලිප් කියන්නේ ආලෝකකරණය කියනඑක තිතටම කරන වගේම ඒ ගැන ලොකු දැනුමක් තියන කෙනෙක්. ගොඩක් අයට ආලෝකකරණය කියන්නේ අහස තද නිල වෙන්න සෙටින්ස් හදලා කපල් එකක් තියලා ෆොටෝ ගන්න එක වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා ගොඩක් දේවල් මේ විෂයය ඇතුලේ තියනවා. නමුත් ගොඩක් අය දිලිප්ව නොදන්නවා වෙන්න ඇති. කොහොම උනත් බොහොම මිත්‍රශීලි වගේම ලොබ නැතුව ඕන දෙයක් කියල දෙන කොල්ලෙක්. දිලිප් අයියා කියන්නෙත් flash කියන්නේ ෆොටෝ එකක් ගනිද්දී එන අඩුපාඩු හෝ බාධක මගහැරගන්න පාවිච්චි කරන දෙයක් මිසක් ෆොටෝ එකක තියන මුලික දෙය නෙමෙයි කියන එක. විශේෂයෙන්ම එළිමහන් චායාරුපකරණයේදී. එකට එයා පාවිච්චි කරන දේවල් කිහිපයක් තියනවා.ගොඩක් පිටරට අයගේ ෆොටෝ අරන් බැලුවොත් එවල තියන ස්වභාවිකබවට ගොඩක් හේතුවෙලා තියෙන්නේ ඒ දෙය. නමුත් ලංකාවේ ගොඩක් අයගේ අද ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ කපල් එක නළු නිලියෝ කරලා හැම දෙයටම වඩා කැපී පෙනෙන්න ලයිට් ගහන එක.
කැමරා සෙන්සරයේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම තමයි එයා කරන්නේ. එළියේ ෆොටෝ එකක් ගනිද්දී පසුතලයේ සහ පෙරබිමේ ( වස්තුවේ ) අතර තියන ආලෝක පරාසය අඩු අගයක් ගන්න වෙලාවක ෆොටෝ ගන්න එක. මහා දවල් flash කරලා ෆොටෝ ගන්නවට වඩා එයින් ලබාගන්න පුළුවන් ප්‍රතිපලය බොහොම තාත්විකයි.
අනික වගේම වැදගත්ම දෙයක් තමයි RAW ෆොටෝ ගන්න එක. කැමරාවෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය වගේම , එඩිට් එකේදී කරන්න පුළුවන් දේවල්වල පරාසයත් මේ නිසා ගොඩක් වැඩි වෙනවා.

අදට ඇති වගේ........

ඉස්සරහට මිට වඩා ඉක්මනට පොස්ට් දාන්න පුළුවන් වෙයි මගේ නිලීකාගේ උදව්වත්ඉස්සරහට බ්ලොග් එකට ලැබෙනවා. :D

එහෙනම් අදහස් ප්‍රකාශ කරලම යන්න ................
සුබ දවසක් !

Tuesday, June 16, 2015

Flash

Dslr කැමරාවක් ගත්තට පස්සෙ පොඩි පොඩියටහරි පාටියක දෙකක ෆොටෝ ගත්තට පස්සෙ කට්ටියට දැනෙන්න ගන්න දෙයක් තමයි ෆ්ලෑශරයක් ඕන වගේ කියන එක. ඇයි කට්ටියට ෆ්ලෑශරයක් ඕනයි කියල හිතෙන්නෙ. කැමරාව එක්කම එන built in එකත් තියනවනෙ.....
කැමරාව එක්ක තියන ෆ්ලෑශර් එක ඇත්තටම හොඳයිනෙ, වැඩක් කරගන්න තරම් එලියත් ඇති.  නමුත් කට්ටියට ඒක එපාවෙන්නෙ ගොඩක් වෙලාවට කෙනෙක්ගෙ ෆොටෝ එකක් ගත්තම ඒ කෙනා වගේ දෙගුණයක විතර හෙවනැල්ලක් පිටිපස්සෙන් පේන්න ගත්තම තමයි. අනික කෙලින්ම ෆ්ලෑශ් එක වැදුනම
තෙල් තියෙන මූණු දිලිසෙන්න ගත්තම ඉස්සො වගේ ඕක කොහොමත් එපාවෙනවා ආයෙ කතා දෙකක් නෑ තමන්ගෙ කෙල්ලගෙ ඒ වගේ දිලිසෙන්න ගත්තොත්නම්.  ඒව පුද්ගලික කතානෙ එහෙනම් ෆ්ලෑශ් එකකින් කරන්න පුලුවන් දේවල් ගැන කතා කරමු.

ෆොටෝ එකක් ලයිට්-අප් කරගන්නනම් ක්‍රම ගොඩක් තියනවා. ෆ්ලෑශ් එකක් කියන්නෙ ඒ වගේ ෆොටෝ එකක් බාහිර උපකරනයක් මගින් ලයිට්-අප් කරන්න යොදාගන්න ප්‍රධාන ක්‍රමවලින් එකක්. මේ පෝස්ට් එක ඒ නිසා external flash ගැන කතා කරන්න බැලුවෙ.

අමතර ෆ්ලෑශ් එකකින් ගන්න පුලුවන් ප්‍රයෝජන කිහිපයක් තියනවා. එකක් තමයි ඒකෙ තියන වැඩි බලය. එල්ලය ( දිශාව ) වෙනස් කරන්න පුලුවන් වීම. ඓ එදිනෙදා දකින හැම ෆ්ලෑශ් එකකම ඔය දෙක තියනවා. ඊට අමතරව සමහර ඒවාවල ඉන් එහාට ගිය පහසුකම් තියනවා. Focussing assist lamp, zoom head, Slave කිරීමේ හැකියාව ඉන් කිහිපයක්. ඔය ඔක්කොම එක දිගටම කතා කරගෙන යන්නෙ නැතුව මේ පෝස්ට් එකෙන් ඔය වැඩ ගැන හැඳින්වීමක් දෙන්න බැලුවෙ.

ෆ්ලෑශ් එකක් ගනිද්දි ගොඩක් අය හොයන දෙයක් තමයි ඒකේ Guide Numberඑක. මේකෙන් අපි මනින්නෙ ෆ්ලෑශ් එකෙන් කොපමන දුරකට ආලෝකය විහිදෙනවද කියන එක. ඒක එක එක ෆ්ලෑශ්වල එකඑක විදියට දක්වලා තියෙන්න පුලුවන්.
උදා - at iso 100 flash head zoom to 100mm
මෙතනදි කියන්නෙ iso අදාල ප්‍රමාණයෙදි ෆ්ලෑශ් එක 100mm සූම් වෙලා තියෙද්දි ඒ ෆ්ලෑශ් එකේ එලිය කොතරම් දුරකට යනවද කියන එක. ඔය කියන තරම් දුර තියන ඒවානම් අපි ෆ්ලෑශ් කරකර ෆොටෝ ගන්නෙ
නෑ කියල මුලදිම හිතෙන්න පුලුවන්. නමුත් ඕකෙ ප්‍රයෝජනය ඇත්තටම දැනෙන්නෙ ෆ්ලෑශ් එක බව්න්ස් කරලා ෆොටෝ ගන්න වෙලාවට තමයි.
අනික් දෙය තමයි High Speed Synchronising. සාමාන්‍යය ෆ්ලෑශර් එකක් පාවිච්චි කරද්දි අපිට යන්න පුලුවන් ශාටර් ස්පීඩ් එක බොහෝවිට 1/200 හෝ 1/250sec වලට සීමා වෙනවා. එතනින් එහා තියන අගයක් යොදාගෙන ෆොටෝ ගත්තොත් අපිට ඒ ෆොටෝ එකෙන් කොටසක් කලු වෙලා වගේ පෙනෙන්න ගන්නවා, ඒ ෆ්ලෑශ් එකෙන් ආලෝකමත් වෙන්නෙ ශටර් එක ඇරිලා තියන වෙලාවෙන් කොටසකදි නිසා ෆොටෝ එකෙන් තීරුවක් වගේ කොටසක් නිසයි. ඒ නිසා අපිට ඉන් එහා ශටර් ස්පීඩ් එකකට යන්න පුලුවන්කමක් ලැබෙන්නෙ නෑ. නමුත් hss තියනවනම් ප්‍රශ්නයක් නැතුව ඉන් ඉහල අගයන්ට යන්න පුලුවන්.
දැන් බලමු ෆ්ලෑශ් එකක පිටින් බැලුවම තියන දේවල්.....

මුලින්ම ගත්තම පිටතින් සවිකරන ෆ්ලෑශ් එකක් ගත්තම අපිට එහි කොටස් කිහිපයක් පිටින් දකින්න පුලුවන්. මම මේ කියන්නෙ මම දකින දේ ගැන. ඒ නිසා අරෙහෙ මෙහෙ මෙහෙම තිබ්බා කියන්න එපෝ. මේ පෝස්ට් එකේ ඉස්සරහට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ දේවල්  කිහිපය ගැනයි.

1. හිස හෙවත් Flash Head
2. පිටුපස තිරය, සැකසුම් පැනලය
3. සවිවන කොටස, පාදම
           මුලින්ම මේ ටික ගැන කතා කරලා ඉමු.
Flash head
ෆ්ලෑශ් එකේ ආලෝකය නිකුත්කරන කොටස ( tube ) තියෙන්නෙ මේකෙ තමයි. හෙඩ් එක බොහෝවිට හරවන්න පුලුවන්. ඒකෙ වාසිය තමයි අපිට අවශ්‍යය ආකාරයට සහ අවශ්‍ය දිශාවකට හරවලා අපිට ලයිට් එක යවන්න පුලුවන් වීම. ෆ්ලෑශ් එක බව්න්ස් කරන්න පුලුවන් වෙන්නෙ මේ පහසුකම නිසා තමයි. බව්න්ස් කරනවා කියන එක දන්නෙ නැත්තම් ඒකත් කියන්නම්. කට්ටිය දැකලා ඇති ෆොටෝ ගන්න අය ෆ්ලෑශ් එක වහලය පැත්තට හරවලා ෆොටෝ ගන්නවා. එතනදි කරන්නෙ ආලෝකය ඉහල හෝ වෙන පෘශ්ඨයකට වැදිලා පරාවර්තනය වෙලා වස්තුව මතට වැටෙන එක. එතකොට කෙලින්ම ෆ්ලෑශ් එක යනවට වඩා බොහොම සෞම්‍ය විදියට ආලෝකමත් වෙනවා. හෙඩ් එක දිහා හොඳින් බැලුවොත් තව කොටස් කිහිපයක් බැලූ බැල්මට දකින්න පුලුවන්. Bounce board සහ Diffuse panel කියන දේවල් දෙක. Bounce board කියන්නෙ ෆ්ලෑශ් හෙඩ් එකට උඩින් තියන එලියට අදින්න පුලුවන් සුදු කාඩ් එක. මේක අපිට පාවිච්චි කරන්න පුලුවන් ෆ්ලෑශ් එක බව්න්ස් කරන වෙලාවට ෆ්ලෑශ් එකේ විහිදීම පාලනය කරන්න. ෆ්ලෑශ් එක උඩට හැරව්වම පිටිපස්සට යන ආලෝකය ආපහු කාඩ් එකේ වැදිලා ඉස්සරහට එන එක තමයි මේකෙන් කරන්නෙ. Diffuse panel එක අපිට යොදාගන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි බව්න්ස් කරන්න බැරි වෙලාවට ෆ්ලෑශ් එකෙන් යන එලිය තව ටිකක් විහිදුවන එක. ඒකෙන් හෙවනැලි වැටෙන එක ටිකක් අඩු කරගන්න පුලුවන්. අනික් ක්‍රමය තමයි වයිඩ් ඈන්ගල් ලෙන්ස් එකක් දාලා ෆොටෝ ගනිද්දි ෆ්ලෑශ් එකේ ලයිට් එක විහිදෙන ප්‍රමානය වැඩි කිරීම.
ඊට අමතරව ෆ්ලෑශ් හෙඩ් එක දිහා හොඳට බැලුවොත් සමහරවිට ෆ්ලෑශ් ටියුබ් එක වටේට සුදුපාට වගේ
ප්ලාස්ටික් කවරයක් තියනවා පෙනේවි. ඒ එක්කම පිටුපස පැනල් එක බැලුවොත් zoom කියලා බට්න් එකකුත් තියනවනම්, ඒක එබුවම ෆ්ලෑශ් ටියුබ් එක ඉහල පහල යනවා වගේ පේනවනම් ඒ කියන්නෙ හෙඩ් එක සූම් කරන්න පුලුවන් කියන එක. ෆ්ලෑශ් එක සූම් කරනව කියන එක දන්නෙ නැත්තම් ඒකෙන් කරන දේ ඉතාම සරලයි. අපි මෙහෙම හිතමු. අපි ලෙන්ස් එක සූම් කරලා එක මිනිහෙක්ව ෆොටෝ ගන්නවනම් ෆ්ලෑශ් එකේ ලයිට් එක මිනිස්සු හතරපස් දෙනෙක්ව ලයිට් කරන තරමට විහිදිලා යනවනම් ඒක නාස්තියක්නෙ. අන්න ඒක වලක්වගෙන ලෙන්ස් එකෙන් කවර් වෙන ප්‍රදේශය පමනක් ලයිට් එකෙනුත් කවර් කරන එකට තමයි ඔය zoom එක තියෙන්නෙ.

Back panel එක
දැන් එන හැම ෆ්ලෑශ් එකකම වගේ පිටිපස්සෙ ඔබන කරකවන ඒවලට අමතරව පොඩි තිරයක් තියනවා. ඒක්න් අපිට තියන තත්වයන් සහ වෙනස්කම්ගැන විස්තර බලාගන්න පුලුවන්.
ඊට අමතරව ෆ්ලෑශ් එකේ බැටරි දාන කොටසත් මේකම තමයි. මමනම් කියන්නෙ ෆ්ලෑශ් එක නිතර පාවිච්චි කරනවනම් ඒකට re chargeable බැරරි දාහන්න ඉඳහිට පාවිච්චි වෙන එකක්නම් ඒ වෙලාවට Alkaline දාගෙන පාවිච්චි කරන එක ලාබ වෙයි.

පාදම Pinout
පාදමේ කොටස් දෙකකි. ලොක් එකයි පහල තියන pin ටිකයි. ලොක් එක කියන්නෙ ලොක් එකනෙ.

පහල තියන පින් ගැන කතා කරනවනම්, මේවවලින් තමයි කැමරාවයි ෆ්ලෑශ් එකයි අතර දත්ත හුවමාරු කරන්නෙ. කැමරාවෙ තියන exposure එක ගැන වගෙම ෆ්ලෑශර් එක ක්‍රියාත්මක වෙන්න ඕන වෙලාව ගැන කරන දැනුම්දීම් කරන්නෙ මේවා හරහා තමයි. තියන pin ප්‍රමාණය සහ pattern එක අනුව අපිට ෆ්ලෑශ් එක ගැන යම් අදහසක් ගන්න පුලුවන්. තනි පින් එකක් එනවනම් ඒක අනිවාර්යයෙන්ම ttl නැති ෆ්ලෑශ් එකක්. ඒකෙන් වෙන්නෙ කැමරාවෙන් කියන වෙලාවට ෆ්ලෑශ් එක යවන එක විතරයි. කැනන්වලනම් මැද තියන ප්‍රධාන පින් එකට අමතරව තව හතරකුත් නිකොන්වල මැද තියන එකට අමතරව තව තුනකුත් තියනවා.....

දැන් බලමු ෆ්ලෑශ් එකක් හයිකරලා පාවිච්චි කරන විදිය.
මුලින්ම ඕකට බැටරි දාගෙන ඉන්නවකො :-D
ඊට පස්සෙ කැමරාවයි ෆ්ලෑශ් එකයි දෙකම ඕෆ් කරලා ෆ්ලෑශ් එක හයි කරලා ෆ්ලෑශ් එක හයිවෙන තැනින් ලොක් කරලා දෙකම ඕන් කරන්න.
දැන් පහල ක්‍රමවලින් එකකට පාවිච්චි කරන්න පුලුවන්.

Manual
මම කලින් කිව්වා වගේ ෆ්ලෑශ් එකේ තියෙන්නෙ මැද තියන pin එක විතරයිනම් ඒක Manual ෆ්ලෑශ් එකක්.
ඒ කියන්නෙ ඒක පාවිච්චි කරද්දි ෆ්ලෑශ් එකෙන් පිටකරන ලයිට් එක අපි අතින් හදන්න ඕන. ෆ්ලෑශ් එකේ ඩිස්ප්ලේ එකක් තියනවනම් ඒකෙ 1/1 ,1/128 වගේ පෙන්නන්නෙ ෆ්ලෑශ් එකේ මුලු බලයෙන් කොච්චර ප්‍රමාණයක් පිටකරනවද කියන එක. ඕක තමයි manual ෆ්ලෑශ් එකකින් වෙන්නෙ.

TTL - Through The Lens
මේක තමයි අලුත් තාක්ශනය. මෙතනදි වෙන්නෙ ලෙන්ස් එක තුලින් ලැබෙන ආලෝකය ගණනය කරලා අවශ්‍යය තැනට ඕන ලයිට් එක ෆ්ලෑශ් එකෙන් එලියට යවන එක. ඒ කියන්නෙ අපි උඩ එකේදි වගේ manual හදන්න ඕන නෑ. අපි දෙන exposure එක අනුව ෆ්ලෑශ් එකෙන් පිටකරන ලයිට් එක හැදෙනවා.
මේකෙදිත් අපිට හදන්න පුලුවන් දේවල් දෙකක් තියනවා. අපිට ෆ්ලෑශ් එකෙන් ලැබෙන ලයිට් එක මදිනම් ඒක යම් ප්‍රමාණයකින් වැඩි කරගන්න හෝ අඩු කරගන්න පුලුවන්.

Slave options
ඊට අමතරව ගොඩක් ෆ්ලෑශ්වල දැන් නොයෙක් ආකාරයේ slave පහසුකාම් තියනවා. මේකෙන් වෙන්නෙ කැමරාවට ෆ්ලෑශ් එක හයිකරන්නෙ නැතිව ෆ්ලෑශ් එක යවන එකයි.
පරණම ක්‍රමය තමයි කැමරාවෙ ෆ්ලෑශ් එකෙන් යන ආලෝකයට සන්වේදීව දුරින් තියන ෆ්ලෑශ් එක යන එක. මෙතනදිනම් කැමරාවේ ෆ්ලෑශ් එකට තරමක් කිට්ටුවෙන් , ඒ කියන්නෙ ඒ ෆ්ලෑශ් එකේ එලිය වැටෙන දුරකින් අපේ ෆ්ලෑශ් එක තියන්න වෙනවා.

Ir
අදෝරක්ත කිරණයක් මාර්ගයෙන් කැමරාවට දුරින් තියන ෆ්ලෑශ් එකක් ක්‍රියාත්මක කරන එක තමයි මෙතනදි
වෙන්නෙ. මේක හැම ෆ්ලෑශ් එකේම නෑ. ඒ වගේම මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නනම් කැමරාව වගෙම ෆ්ලෑශ් එකෙත් සෙටින්ස් හදන්න ඕන. නමුත් මේ ක්‍රමයෙදි අපිට ෆ්ලෑශ් එකේ එලිය පාලනය කරන්න වගේම ඊට අදාල සෙටින්ස් ගොඩක් හදන්න වගේම ෆ්ලෑශ් කිහිපයක් නොයෙක් ආලෝක තත්වයන්ගෙන් නිකුත් කරන්නත් පුලුවන්කම ලැබෙනවා. පහත ලින්ක්වලින් ඒක හදාගන්න විදිය ගැන දල අදහසක් ගන්න පුලුවන් . 
තව පොඩි පොඩි දේවල් ටිකක් කියන්නම්.

මම දැකලා තියනවා සමහර අයගෙ ෆ්ලෑශ්වල උඩ වීදුරුව කලු වෙලා උණු වෙලා ගිහිල්ලා තියනවා. ඒක වෙන්නෙ ගොඩක් වෙලාවට ෆ්ලෑශ් එක ෆුල් යවද්දි. ඇත්තටම බර ගාණක් දීලා ගන්න ttl ෆ්ලෑශ් එකක් මැනුවල් යවන්න ගන්නවා කියන්නෙනම් හෙන අපරාදයක්. තමන්ට ෆ්ලෑශ් එක ඕන ස්ලේව් එකක් විදියට පාවිච්චි කරන්නනම් ඒක කැනන් හෝ නිකොන් නැතුව අඩු ගානට තියන 3rd party ෆ්ලෑශ් එකක් අරන් තමන්ගෙ වැඩේ කරගන්න පුලුවන්.
අනික් දෙය තමයි bounce කරනවනම් wide panel එක දාන්න ඕන නෑ. ඒක බොරු වැඩක්.
වැඩක් කරන්න ගියාම සිවිලිමක් නැත්තන් bounce කරන්න අපිට පුලුවන් diffuser එකක් පාවිච්චි කරන්න. සමහර කැමරා එක්ක මේවා එනවා. එහෙම නැත්තන් බොහොම පොඩි ගනන් වලට ebay ගෙන්නගන්නත් පුලුවන්.
ඔය කිව්වෙ ෆ්ලෑශ් එකක තියන පහසුකම්. ෆ්ලෑශ් එකක් ගන්න හිතාගෙන ඉන්නවනම් මේ දේවල් වැදගත්වෙයි කියල හිතනවා. මොන දෙය ගත්තත් තමන් ගෙවන්නෙ මොනවටද කියන එක දැනන් ඉන්න එපැයි.

Thursday, April 16, 2015

Microsoft Lumia 535

පොඩි කාලෙ ඉඳන්ම අපි අතරෙ ජනප්‍රිය වෙච්ච Nokia ෆෝන් කම්පැනි එක microsoft ආයතනයෙන් ගත්තට පස්සෙ මයික්‍රොසොෆ්ට් නමින් වෙලඳපලට දාපු පළවෙනි ස්මාට් ෆෝන් එක තමයි Microsoft Lumia 535 කියන්නෙ. මේකේ මෙහෙයුම් පද්දතිය වෙන්නේ Microsoft Windows Mobile 8.1. වසර අවසානයට පෙර එය Windows mobile 10 වලට අප්ඩේට් වෙන්න නියමිතයි. බැලූ බැල්මටම මරු වගේ පේන්න හදල එවපු සහ කාටත් ගන්න පුලුවන් ගාණකට හදපු ෆෝන් එකක් තමයි මේක. මටත් ඉතින් හෙණ ආසාවක් හිතිලා ආපු ගමන් ගත්තා එකක්. එදා ඉඳන් අද වෙනකම් කට්ටිය මගෙන් අහනවා මේ ගැන. ඒ නිසා අහන ඔක්කොටම වගෙම අහන්න ඉන්න අයටත් එක්කම හරියන්න මෙහෙම හොයාගන්න පුලුවන් තැනක උත්තරයක් දාන්න කියලා හිතුවා.

Android ෆෝන් එකක් පාවිච්චි කරලා මේකක් ගත්තොත්නම් මුලින්ම මේකේ තියන user interface එක ටිකක් පැටලිලි සහගත වෙන්න පුළුවන්. ෆෝන් එකේ wallpaper එක උඩම තමයි කොටු කොටුවලට බෙදිලා ඇතුලේ තියන appsවල ශෝර්ට්කට් පිහිටලා තියෙන්නේ. ඒ වගේම අපි කැමති තරමක් අපිට ඕන appsවල ශෝර්ට්කට් දාගන්න වගේම අනවශ්‍ය දේවල් ඉවත් කරන්නත් පුළුවන්. එක වෙලාවකට එක පහසුයි වගේ. මෙනු එකට ගියා
ම උඩ සිට පහලට පේලියට ඉංග්‍රීසි හෝඩියේ පිලිවලට appsවල නමින් පෙළගැහිලා තියනවා වගේම අකුරක් උඩ ටච් කලාම ඉංග්‍රීසි හෝඩියම එනවා. එතනින් අපේ app එකකේ නමේ මුල් අකුර තෝරලා ඉක්මනින්ම app එකට යන්න පුළුවන් ........

ෆෝන් එකේ තියන ගත්ත අලුත අවුලක්දෝ කියලා හිතෙන දෙයක් තමයි ෆෝන් එක ඔෆ් කරලා චාජර් එකට සම්බන්ද කලත් ස්වයන්ක්රියවම on වෙලා චාර්ජ් වෙන්න ගන්න එක. ඒ කියන්නේ මේක off කරලා චාර්ජ් කරන්න බැ. ඒක ආරක්ෂක උපක්‍රමයක් කියලයි කියන්නේ. Android ෆෝන් එකක Google එකවුන්ට් එකක් වගේ මේක ගත්ත ගමන් Microsoft එකවුන්ට් එකක් හදාගන්න ඕන. එකේ තමයි අපේ දත්ත බැකප් එකක් විදියට ගබඩා වෙන්නේ. ෆෝන් එක on කල ගමන් ෆෝන් එක තියන තැන ගැන පණිවුඩයක් යනවා අපේ එකවුන්ට් එකට. අනිවාර්යයෙන්ම චාර්ජ් කරන්න වෙනවනේ, එතකො on වෙනවනේ. ඒ නිසා ෆෝන් එක නැති උනත් අපිට ලේසියෙන්ම තියන තැන හොයාගෙන lock කරන්න , ෆෝන් එකේ තිරයට පණිවුඩයක් යවන්න වගේම එකේ තියන දේවල් මකන්නත් පුළුවන්. එනිසා ඒ ක්‍රමයත් මරු වගේ.

Cortana කියන්නේ ලුමියාවල තියන personal assist ප්‍රෝග්‍රෑම් එක. කාලෙකට කලින් ෆෝන්වල ආපු Voice Command කියන දේ මතක ඇතිනම් එකේම දියුණුකළ දෙයක් තමයි මේක. මේක ඇපල්වල siri වගේම තමයි. සැම්සුන් වලත් S-voice කියලා එකක් තියනවා. අපිට එලාම් එක තියාගන්න, මැසේජ් එකක් ටයිප් කරගන්නවා වගේ සරල දේ ඉඳලා නොයෙක් තැන් සිතියමෙන් හොයාගන්න, මතක් කිරීම් තබන්න වගේම ජොලියට විහිළුවක් කරගෙන ඉන්නවත් මේක මරු. හැබැයි එක තවම හරියටම වැඩකරන්නේ ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකට පමණයි.

ඇත්තටම කියනවනම් 535 කියන්නෙ සයිස් එකෙන් ලොකු උනාට මහලොකු හෙවත් පට්ට ස්මාර්ට්ෆෝන් එකක් නෙමෙයි කියලම වැඩේ පටන්ගන්නෙ කාටවත් අයියෝ කියලා හිතෙන්නනම් නෙමෙයි. අඟල් 5 ඩිස්ප්ලේ එකක් තිබුනත්, මෙගා පික්සල් 5 කැමරා දෙකක්ම තිබුනත් මේ ෆෝන් එකේ පිටතට නොපෙනෙන දේවල් විදියට යොදාගෙන තියෙන්නෙ අදකාලෙ ස්මාර්ට්ෆෝන්වලට ගන්න උපාංග අතරින් පහලම තියන ආකාරයේ දේවල්. ඩිස්ප්ලේ එක උනත් අඟල් පහක් උනාට පික්සල් 900*540 පමණ වන නිසා ලොකු කොලිටියක් පේන්නෙනම් නෑ. ආලෝකය අනුව ස්වයංක්‍රීයව තිරයේ ආලෝකය හදාගන්න ක්‍රමයකුත් මේකෙ  තියනවා. ප්‍රදානම දෙය වන ප්‍රොසෙසර් එක snapdragon 200 මාදිලියෙ නමුත් quad core එකක්. ඒ නිසා එක් අතකින් සාදාරණයක් වෙනවා වගේමතවත් පැත්තකින් අඩු ප්‍රභලතාවක් ඇති 200 ප්‍රොසෙසරයක් සහ Adreno 302 GPU නිසා ලොකු කැපී පෙනෙන මට්ටමේ quad core තරම් ක්‍රියාකාරීත්වයක් නොපෙන්වයි.. ඒ නිසා ගේම් ගහන්න බලාගෙන ෆෝන් එක ගන්නවානම් ලොකුවට 3D රෙන්ඩරින් ගැන බලාපොරොත්තු තියාගන්න එපා. Asphelt 8 වගේ ගේම් එකක් ගැහුවොත් පොඩ්ඩක් විතර frames drop වෙනවා වගෙත් දැනේවි. ඒත් 1gb ram එක නිසා multi tasking වගේම phone එකේ user interface එක සහ අනික් ක්‍රියාකාරකම් කිසිම හි‍රවීමක් නැතුව smooth වැඩ කරනවා. Snapdragon 200 වීම නිසා ඇතිවෙච්ච තවත් අවුලක් තමයි කැමරාවෙ වීඩියෝ පහසුකම hd නොවීම. 535 එකේ තියෙන්නෙ 480p 30fps ප්‍රමානයේ වීඩියෝ සයිස් එක. 720p වත් තිබ්බනම් හොඳයි දැන් තියන අනික් ස්මාර්ට්ෆෝන් එක්ක ගත්තම. හැබැයි android එකක් එක්ක බැලුවොත් ෆෝන් එක lag වෙන්නෙත් නැ , බැටරියත් හොඳයි.



අපිට දැන් ෆෝන් එකක නැතුවම බැරි දෙයක් තමයි සිංහල කියවීම වගේම ටයිප් කිරීමේ හැකියාව. සමහර android ෆෝන්වල මේක තාමත් නැ. හැබැයි වින්ඩෝස් ෆෝන්වල කිසිම ප්‍රශ්නයක් නැතුව බොහොම හොඳට සිංහල අකුරු පෙන්නුම් කරනවා. නමුත් තියන ප්‍රශ්නේ තමයි හරි හමන් සිංහල කි බෝඩ් එකක් නැතිවීම. නමුත් දැනට එකට තියන විසඳුම "හෙළබස"වගේ ap එකක් දාගන්න එකයි.එකෙන් අපිට පුළුවන් app එක ඇතුලේ ටයිප් කරලා අපිට ඕන තැනට paste කරන්න...... නමුත් වින්ඩෝස් 10 සිංහල කීබෝඩ් එකක් එන කතාවක් තියනවා.


un edited
un edited
ෆොටෝගැන බැලුවොත් ඉතා හොඳ මට්ටමේ මෙගා පික්සල් පහක
කැමරාවක් තියනවා. ඒකෙ පින්තූරවල ගුණාත්මකභාවයත් සැලකිලියුතු ඉහල මට්ටමක තියනවා. ඒ විතරක් නෙමෙයි කැමරාවට අදාල exposure , ඒ කියන්නෙ කෑමරාවට අදාල සෙටින්ස් ඔක්කොම වගේ මැනුවල් හදන්න පුලුවන් වීමත් විශේශයි. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකනම් මේදෙය කරන්න මුදල් ගෙවා ගතයුතු ඇප්ස් තියනවා.

5 mega pixel Front Camera එක ගැන කතා කලොත් පිටුපස කැමරාවට සාපේක්ශව පුළුල් කෝණී කාචයක් , ඒ කියන්නෙ සෙල්ෆි ගන්නවනම් වෙනදට වඩා තව කට්ටියව එකතුකරගන්න පුලුවන් වැඩි පදාසයක් පෙනෙන නිසා. ඒ වගේන මේ රේන්ජ් එකේ තියන අනික් ෆෝන්වල ඉස්සරහ කැමරාවට සාපේක්ෂව මේකේ සන්වෙදිතාවත් ඉතාම වැඩියි කියලා පාවිච්චිකරද්දී මට දැනුනා. විශේශයෙන්ම ෆෝන් එකේ තියන "Lumia Selfie"කියන ඇප් එක ආදාරයෙන් අපි ගන්න ෆොටෝ ඒ වෙලාවෙම සන්ස්කරණය කරලා ඒකෙ තියන වර්න, ආලෝක තත්වය හදලා වඩා හොඳ පින්තූරයක් තත්පර ගනනක් ඇතුලත අපිට දෙනවා වගේම අපිට ඕන විදියකට වෙනස්කම් කරගන්න අවශ්‍යවෙන templates කිහිපයකුත් කැමරාවෙ ඉහත ඇප් එකේම එනවා. ඒ නිසා අපි ගන්න සෙල්ෆිය තප්පර ගානක් ඇතුලත අපිට ඕන විදියකට එඩිට් කරලා සේව් කරන්න හෝ අප්ලෝඩ් කරන්න පුළුවන්.

ප්‍රදාන කැමරාව ගැන තව ටිකක් කතා කලොත් ඇන්ඩ්‍රොයිඩ් ගොඩක් ෆෝන් වල වගේ නෙමෙයි මේකේ
ගොඩක් දුරට කැමරාවට අදාල සෙටින්ස් අපිටම හදාගන්න පුලුවන් විදියෙ AUTO FOCUSING කැමරාවක් ලබාදීලා තියනවා. ඒ වගේම ප්‍රධාන කැමරාව led flash එකකිනුත් යුක්තයි. කැමරාව තෝරලාදෙන සෙටින්ස් ඇර අපේ සෙටින්ස්වලට ෆොටෝ ගන්න ඕනනම් කරන්න තියෙන්නෙ ෆොටෝ ගන්න තියන ලකුණ ටච් කරගෙනම ෆෝන් එකේ ඉහලට අදින එක. එතකොට ඔක්කොම සෙටින්ස් ටික පේන්න ගන්නවා. ඒ නිසා අත්වෙන පහසුකම් ගැන ටිකක් කතාකරමු. 

මේකෙ ශටර් ස්පීඩ් එක ( වම පැත්තේ තියන හතරවෙනි icon එක )අපිට හදන්න පුලුවන් බොහොම ලේසියෙන්ම. මෙතනදි තියන වාසිය තමයි අපි ෆොටෝ එක ගන්න වස්තුවෙ සෙලවීම අපි දන්න නිසා අපිට පුලුවන් තැනට අදාල විදියට ඕන කරන ශටර් ස්පීඩ් එක හදන්න පුලුවන්. අපි ගන්නෙ වේගයෙන් යන වාහනයක්නම් අපිට පුලුවන් ශටර් ස්පීඩ් එක වැඩි කරන්න. ඒ වගේම ස්ලෝ ශටර් දාලා නිර්මාණාත්මක යමක් කරගන්නත් ඒකෙන් පුලුවන්. අපි දෙන ශටර් ස්පීඩ් එක අනුව අනාවරණය ස්වයංක්‍රීයව හදාගන්න ක්‍රමයක් මේකෙම තියනවා.  

ISO ගැන ඊලඟට කතා කරමු. අපිට මේක පාවිච්චි කරන්න පුලුවන් එතන තියන ආලෝක ප්‍රමාණය අනුව. ෆෝන් එකක් නිසා ISO අගය 400 වඩා වැඩි කරලනම් වැඩක් නෑ. හොඳටම අවුව තියන වෙලාවකනම් Iso අගය 100 පමණ ගියත් ප්‍රශ්නයක් නෑ. නමුත් ආලෝකය අඩු වෙන්න වෙන්න ISO වැඩි කරන එකයි ක්‍රමය. එහෙම නැත්තන් මේකත් ශටර් ස්පීඩ් එක වගේම AUTO තියන්න පුලුවන්. 

අනික තමයි WHITE BALANCE . මේකෙන් වෙන්නෙ අපි ෆොටෝ ගන්න තැන තියන ලයිට් එක, මතක තියාගන්න ලයිට් එක කිව්වෙ එලියෙ තරම නෙමෙයි, මොකක් නිසාද ලයිට් එක ලැබෙන්නෙ කියන දෙය මෙතනින් තෝරන්න පුලුවන්. ඒ කියන්නෙ ඉර එළිය , ලයිට්, ෆ්ලෑශ් වගේ ආලෝක ප්‍රභවය තෝරන්න පුලුවන්. ඒ වගේ අවස්තාවට අනුව තෝරන්න පුලුවන්නම් එන ෆොටෝ එක තවත් හොඳයි. බැරිමනම් ඒකත් AUTO තියන්න ඉතින්.

ඒ වගේ හදලා ගන්න ෆොටෝ එකේ එලිය හරියන්නෙ නෑ කියමුකො. ඒ වෙලාවට තමයි ඔතන තියන EV ( කැමරා icon එකට උඩින් තියන 0.0 ලකුණ  )කියන කොටස වැදගත් වෙන්නෙ. ලැබෙන ෆොටෝ එක අඳුරුයි වගෙනම් EV ටිකක් වැඩි කරකර බලන්න. ඕනවට වඩා එලිය වැඩිනම් EV අඩු කරලා බලන්න. 

ඊට අමතරව ඕනනම් අපිට පුලුවන් ෆෝකස් කරන එක පවා මැනුවල් කරන්න. මැනුවල් කිරීමනම් එතරම්ම ප්‍රායෝගික වෙන එකක් නෑ කැමරාව එතරම් අතට හුරු නැත්තන්. ඒකත් ෆ්‍රී වෙලාවක කරලා බලන්න. 

ඔය ටික තමයි මූලිකවම කැමරාවෙ සෙටින්ස් ගැන කියන්න තියෙන්නෙ.  ඊට අමතරව ගන්න ෆොටෝ ඒ වෙලේම එඩිට් කරගන්න පුලුවන්වීම මේ ෆෝන් එකෙත් තියනවා. 

කැමරාව ගැන හැර අනික් දේවල් ගැන කතා කලොත් සයිට් එකේ තියන විදියට 3G සිග්නල් යටතෙ පැය 13 ආසන්න කාලයක් කතා කරන්න පුලුවන්. Data පාවිච්චි කරනවනම් ඉක්මනට බැටරිය බහිනවා. ඒ නිසා වයිෆයි පාවිච්චි කරන්න පුලුවන්නම් හොඳයි. කාලෙකට කලින් වගේ නෙමෙයි දැන් ලුමියා store එකේ ගොඩක් apps තියනවා... 

අවුල් ගැන කතා කරොත්නම් මුලින්ම ආපු ෆෝන්වල වගේ දැන් ෆෝන්වලනම් touch ප්‍රශ්නය බොහෝ දුරට
හදලා තියෙන්නෙ.  මේකෙදි ගොඩක් වෙලාවට වෙන්නේ අපි ඇඟිලි දෙකකින් ටච් කරද්දී ඒ ඇඟිලි දෙක එක කෙලින්ම පිහිටුනොත් එක අන්ගිල්ලකට අදාළ සංවේදනය නැතුව යන එක. නමුත් අලුත් අප්ඩේට් නිසා multi touch ප්‍රශ්නෙ දැන් එන්නේ ගොඩාක් අඩුවෙන්. මේ ෆෝන් එකේ තිබුන ලොකුම අවුලත් කොහොමහරි ගොඩදාන්න මයික්‍රොසොෆ්ට් කට්ටියට පුලුවන් වෙලා තියනවා.

ඉස්සල්ලා කිව්වත් වගේ ඩිස්ප්ලේ එකේ මහ ලොකු කොලිටියක් නෑ වගෙම පාට ගැනත් මටනම් ලොකු තෘප්තිමත්බවක් නෑ . Sound ගැනනම් මම තෘප්තිමත්. නමුත් ඒ ඔක්කොටම හරියන්න පුලුවන් තරමෙ හොඳ කැමරා දෙකක් දීලා තියනවා කියනවා කියලා මට හිතෙනවා... මයික්‍රොසොෆ්ට් එකෙන් මේ ෆෝන් එක හඳුන්වාදෙද්දි ඒගොල්ලො මුලට දැම්මෙත් කැමරා දෙක වගේම ඩිස්ප්ලේ එක. ඒ කැමරා දෙකේ තත්වය සහ විශාල ඩිස්ප්ලේ එක නිසා ඇත්තටම හොඳ පෙනුමක් ලැබෙනවා. 

අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ. මේක ගෙවන මිලට ඇත්තටම වටිනා ෆෝන් එකක්. වින්ඩෝස් ට්‍රයි කරන්න බලාපොරොත්තුවෙන කෙනෙක්ට වගේනම් මේක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. නමුත් කැමරාව කියන දෙය නොසලකා හැර බැලුවොත් මේ ගානට යන්න පුළුවන් මිට වඩා හොඳ specs තියන ෆෝන් එකක් තමයි සැම්සුන් ගැලැක්සි Core prime කියන්නේ. ඒ වගේම මිට වඩා හොඳ කාර්යක්ෂමතාවක් සහ හොඳ කැමරා පහසුකමක් බලාපොරෝත්තුවෙනවානම් ඕගොල්ලන්ට පුළුවන් Lumia 640 හෝ Lumia 735 වගේ ෆෝන් එකකට යන්න. දෙවැනි ෆෝන් එක විදියට මම මේක පාවිච්චි කරන නිසා මට ලොකුවට දැනෙන අඩුපාඩුනම් නැ. කොහොමත් මම ගත්තේ මුලින්ම ආපු ෆෝන් සෙට් එකේ ඒ කියන්නේ ඔක්කොම ලෙඩ එක්ක ෆෝන් එකක් උනත් දැනට මාස දෙකකට කලින් තිබ්බට වඩා දැන්නම් මේක ගොඩක් හොඳයි.

වින්ඩෝස් කිව්වම සමහර අයට පිටසක්වල වගේ දැනුනට , android වගේ රූට් කරලා කස්ටම් රොම් ගගහා ඔක්කොම වැඩ දාන්නේ නැතුව ගත්ත විදියටම පාවිච්චි කරන කෙනෙක්ටනම් වින්ඩෝස් කියන්නේ අවුල් නැති ෆෝන් එකක් කියලා මට හිතෙනවා ...........

Tuesday, April 14, 2015

Attitudes - ඇලඩින්ගේ අහවල් එක



noun
1. manner, disposition, feeling, position, etc., with regard to a person or thing; tendency or orientation, especially of the mind:

ඕනෑම දෙයක් කලකට කලින් තිබුනා වගේ නෙමෙයි කාලයක් යද්දී එක සුලභ වෙන්න ගන්නවා.
කැමරාව කියන දෙය දැන් ඉතාම සුලභ දෙයක් වෙලා.කැමරාව විතරක් නෙමෙයි Photography කියන විෂයම දැන් ඕන කෙනෙක්ට ලේසියෙන්ම ළඟාවෙන්න පුළුවන් විදියේ අංශයක් බවටත් පත්වෙලා. එක ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රවනතාවක්. නමුත් එක තුල මේ කලාවට වෙච්ච හොඳ වගේම නරක මොනවද? මේක දැන් කියවන කීදෙනෙක් මේ කලාවට හොඳක් කරනවද නරකක් කරනවද ?

එක එක කෙනා කැමරාවක් ගන්නේ මොන හේතුවකටද කියන එක ඇත්තටම දන්නේ ගන්න කෙනාම තමයි. බොහෝවිට එයට හේතුව කාලයකට කලින් කම්පැක්ට් කැමරාවක් පාවිච්චි කරලා දැන් dslr එකකට යන්න , එකේ ගුණාත්මකභාවයවිඳින්න කැමතිවීම වෙන්න පුළුවන්. කෙටියෙන් කියනවනම් කම්පැක්ට් එක කොලිටි මදි වීම වෙන්න පුළුවන් . සමහරවිට කාලයක් ඉඳලා එකපාරම ලොකු කැමරාවක් ගැනීම වෙන්න පුළුවන්. සමහර අයනම් ගන්නේ අනික් එකා ගාව තියන නිසා. තවත් සමහරුන්ටනම් ඒක බෙල්ලේ එල්ලගත්තම පළඳනාවක් කියලයි හිතාගෙන ඉන්නේ

මේ මොන විදියෙන් උනත් , කවුරු උනත් මේ ගන්නේ මේ ලෝකයේ තියන කාල තරණය කරන්න පුළුවන් උපකරණයක්. ඔව් අපිට අතීතයට යන්න පුළුවන් කැමරාව අල්ලගන්න මතකයන් අපේ ඇස දෙක ඉස්සරහා තියාගෙන..............

අලුත් අවුරුද්දේ හිත රිද්දලා වැඩ අල්ලන්න ඕන නැති උනත් මම හිතුවා අපි සමහරු මේ උපකරණය එක්ක දරන ආකල්ප ගැන කතාකරන්න. මෙතනින් එහාට ලියවෙන්නේ මම ඉතා සුළු කාලයක් තුල ලබපු අත්දැකීම් !


ඇලඩින්ගේ අහවල් එක

සල්ලි බර ගානක් ගෙවලා තමයි කෙනෙක් බොහෝ වෙලාවට DSLR එකක් ගන්නේ. බොහෝ විට ඒ ගාන ලක්ෂය පනිනවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනේ එක මේ බ්ලොග් එක කියවන මට්ටමේ කෙනෙක්ට පොඩි ගානක් නෙමෙයි කියලා ( එක්කෙනෙක් කිව්වා පොෂ් අය බ්ලොග් කියවන්නේ නැ කියලා, පොෂ් නැතිඅයටනම් ලක්ෂය මහා ගානක් වෙන්න ඕන )
ගොඩක් ය දැනටමත් දන්නවා ඇති මම වැඩකරන්නේ CameraLK කියන තැන කියන එක. දන්නත්තන්ම් කමක් නැ එක ලොකුවට හිතන්න එපා.
ඉතින්හැමවෙලාවෙම වගේ DSLR එකක් ගන්න එන කෙනෙක්ගෙන් මම අහන ප්‍රශ්නය තමයි මීට කලින් කැමරාවක් තිබ්බද, තිබ්බේ මොකක්ද කියන එක ? ගොඩක් ය කියන්නේ ඩිජිටල් එකක් ( DSLRවල D කියන්නේ ඩිජිටල් තමයි ),  නොමර්මල් එකක් ( දැන් එතකොට උඹ ගන්න ආවේ ඇබ්නොර්මල් එකක්ද අහන්න හිතෙනවා ),  පොඩි එකක් ( දැන් ලොකුයිනේ ) වගේ උත්තර තමයි 85% විතර ලැබෙන්නේ. ඉතින් මට හිතාගන්න පුළුවන් අදාළ කෙනාගේ තියන දැනුම සහ බොහෝවිට අලුතෙන් ගන්න එකට වෙන්න යන විපත RIPDSLR.
 ඉතුරු 15% කියනවා මගේ ගාව තිබ්බේ මේ වර්ගයේ මේ මොඩ්ල් එක කියන එක,ඒ වගේ කෙනෙක් හම්බුනාම බොහොම ලේසියෙන් වැඩ කරන්න පුළුවන්
නිකමට හිතලා බලන්න, තමන් පාවිච්චි කරන කැමරාව මොකක්ද කියලවත් නොදන්නා එකෙක් අලුතෙන් දෙයක් ගත්තයි කියලා අපිට එහෙම එකෙක්ගෙන් යමක්  බලාපොරොත්තු වෙන්නත් පුලුවන්ද ? එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් "මම ගන්නේ මගේ සල්ලිවලින්"කියලා. ඇත්ත, එත් මම කතාකරන්නේ කලාව පැත්තෙන් හිතුවම.

ඕනෑම කෙනෙක් තමන්ගේ උස, බර , අම්මා තාත්තගේ නම වගේ දේවල් දන්නවා වගේ තමන් පාවිච්චි කරන වැදගත් දේවල්වල විස්තර දැනගෙන ඉන්න එක වටිනවා. ඒ අනුව තමයි තමන්ගේ හැකියාවන් සීමාවන් ගැන වැටහීමක් එන්නේ එතකොටයි දැනෙන්නේ මට මේකේ ගන්න පුළුවන් මේ වගේ එවයි කියලා. සමහරු හිතන්නේ කම්පැක්ට් කැමරාවක් පාවිච්චි කරලා 18-55 ලෙන්ස් එකක් එක්ක DSLR එකකට ගියාම කරන්න බැරි දෙයක් නැ කියල. ඒ උනාට 5x ඔප්ටිකල් සුම් තියන කැමරාවකින් තරම්වත් 18-55 සුම් කරන්න බැ. නමුත් හිතේ තියෙන්නේ තෝමස් විජයන් වගේ ෆොටෝ ගන්න ( ඒ පාර ඒ මොකාද ඒ කියලා හිතෙනවනම් නම ක්ලික් කරලා බලන්න )
සල්ලි හරි කියන්නේ ඔක්කොම හරි කියන එක නෙමෙයි.
තමන්ට මොනවද ඕන?
මොකක්ද බලාපොරොත්තු වෙන්නේ , මොනවද ෆොටෝ ගන්න ආස ,  මිට කලින් එහෙම ගත්ත ය ඉන්නවද, ඒගොල්ලෝ මොනවද පාවිච්චි කරන බඩු, ඇයි ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරන්නේ ? ඔන්න ඔවි මචන්ලා ප්‍රශ්න. මෙලෝ දැනුමක් නැතුව ලක්ෂයක් අරන් ඇවිල්ලා බඩු අරගෙන පස්සේ නහයෙන් අඬන්න එපා මිලියනයක බඩු තියන උඹ තාත්තගේ ඇටෙවත් නැති කාලේ ඉඳන් ෆොටෝ ගන්න ඉගනගන්න කෙනෙක්ගේ ෆොටෝවල තියන කොලිටිය එන්නේ නැ කියලා
මචන්ලා , ආදරෙන් කියන්නේ තරහකින් නෙමෙයි. මම වඩුවෙක්ගේ පුතෙක්, මට පරම්පරාවෙන් ආපු කැමරාවක් නැ. මමත් හෙනම මෑතකදී ඉගනගන්න පටන්ගත්ත කෙනෙක්


මන්තරයක් ජපකරන්නා වාගේ මේ රවුම කරකවලා






මේක උඩ නැගලා එබුවට



එකපාරටම සම්මානනීය ෆොටෝ එකක් ඩිස්ප්ලේ එකට එන්නේ නැ බන් ........... අහපන් ෆොටෝ ගන්න දන්නා කෙනෙක්ගෙන් කොච්චර කට්ටක් කාලාද එහෙම ෆොටෝ එකක් ගන්නේ කියලා.
මමනම් කියන්නේ ගන්න කැමරාව මුලින්ම එකට එන ලෙන්ස් එකත් එක්ක අරන් කලක් පාවිච්චි කරලා තමන් අනුගමනය කරන මාර්ගය තීරණය කරලා තව ලේන්ස්වලට යන්න කියන එකයි'. ගොඩක් ය නිතර දෙවේලේ සත්තුන්වම දකින නිසා අහපු ගමන් කියන්නේ වයිල්ඩ්ලයිෆ් කියන එක තමයි. හැබැයි ඊට වඩා දේවල් තියනවා ෆොටෝ ගන්න.

කැමරා අනිත්‍යය Count එක 


ඕනෑම කෙනෙක් කැමරාවක් අරන් ටික කලක් ගිහින් එක අතට හුරුවෙනකම් වගේම එකේ තියන දේවල් අතට හුරු වෙනකම් කොහොමත් ෆොටෝ 1000-2000ක් නාස්තිවෙන්න පුළුවන්. ඔන්න එතකොටම ඔලුවට එනවා කවුරුහරි බාගෙට උගන්නපු කතන්දරයක්.

shutter Count එක යනවනේ .
කට්ටිය හිතන් ඉන්නේ රීල් දාපු කාලේ වගේ නෙමෙයි දැන්digital නේ . ගත්තා බැලුවා හරියන්න නැත්තන් ආපහු ගන්නවා කියලා. ඊට පස්සේ මොකෙක් හරි ඇවිල්ලා කියනවා . "පිස්සුද බන් ඔකේ අහවල් එකක් තියනවා. එකේ ගන්න පුළුවන් ලක්ෂයයි. එක ගියාම හරි තමයි කියලා." ඔන්න මිනිහා බය වෙනවා නෙමෙයි ලෝබ වෙනවා. සමහරවිට කාගෙහරි අතට දුන්නම උ ෆොටෝ එකක් ගනිද්දී එකක් ගියෝ , දෙකක් ගියෝ, තුනක් ගියෝ කියලා හිතෙනවා ( අම්මපා මට උනත් තාමත් ලාවට ඕක දැනෙනවා, බොරු කියන්නේ මොකටද බන් )

මෙහෙමයි කතාව. මේ ටික කියලා ඉවර වෙද්දී උඹලා මට බැන බැන හිටියනම් කුනුහරපෙන්ම බනින්න පටන් ගන්නවා ෂුවර්.
ඔය කැමරාව ඇතුලේ තියනවනේ ශටර් එක කියලා කොටසක්. එකෙන් තමයි සෙන්සරය ආලෝකයට නිරාවරණය වෙන කාලය පාලනය කරන්නේ. හැම ෆොටෝ එකක් ගන්න වාරයකදීම ශටර් එක එහා මෙහා යනවා. හැම DSLR කැමරාවකටම අදාළ කැමරා ආයතනය මගින් යම් සහතිකකලවාර ගණනක් තියනවා. ඒ කියන්නේ ෆොටෝ ලක්ෂයක් ගන්නකම් ශටර් එකට වගකියනවා , ලක්ෂ එකහමාර, දෙක , හතර වගේ කැමරාව හොඳ වෙන්න වෙන්න ඒ කාලය වැඩි වෙනවා ! ඒ කියන්නේ ඉතින් කැමරාවේ යු කාලයම නෙමෙයි හැබැයි. ලක්ෂයක් ගත්තට පස්සේ ශටර් එක ගියොත් ආපහු එක අලුතින් දාලා වැඩ කරන්න පුළුවන්. සමහර වෙලාවට නෙමෙයි බොහෝ වෙලාවට ඔය කියන කාලයටත් වඩා ඕක කරන්න පුළුවන්. ඒ නිසා බය නැතුව ෆොටෝ ගන්න. අපි හිතමුකෝ කැමරාව ගත්තේ විනෝදාංශයක් විදියට හෝ ඉගනගන්න ෆොටෝ ගන්න කියලා. අවුරුද්දට දවස් 365 , දවසට 100 ගන්නේ ගත්තත් 36 500 .. ගණන් හදලා බැලුවොත් ඕක අවුරුදු තුනකට කිට්ටු වෙන්න පාවිච්චි කරන්න පුළුවන්.ඒ වෙද්දී අලුත් එකකට යන්න අවශ්‍යතාව නොදනුනොත් තමයි පුදුමේ.
කෝ එතකොට අර කුණුහරපෙන් බනින පාට් එක. එක තමයි මේක ශටර් එක ලක්ශේ වෙන්න කලින් කඩෙන දේවල් තියනවා බන් :p එක සමහරවිට ෆ්ලෑෂ් එක වෙන්න පුළුවන්, බැටරිය වෙන්න පුළුවන්. ලෙන්ස් එකේ රිබන් හෝ ලෙන්ස් එකට සම්බන්ද දෙයක් වෙන්න පුළුවන්. ඊට කලින් උඹ මැරෙන්නත් පුළුවන්. ඒ නිසා එක මොහොතක්වත් මිස්කරගන්න එපා............... අවුරුදු තුනකට කිට්ටුවෙලත් තාම මගේ ශටර් කවුන්ට් එක 50000 අඩුවෙන් තියෙන්නේ.

ඔච්චර සල්ලි ගෙවලත් මොකක්ද මේ ඉලව්ව ?

වැඩබැරි දාසලගේ ඊළඟ ප්‍රශ්නේ. ඇත්තටම පපුව හරහා ගිහින් කරේ එල්ලිලා ඉන්න

ඇහැට හේත්තුවෙලා ලෝකය පෙන්නන කැමරාවට ඔය වගේ කතාවක් කිව්වම මලපනින එක සාධාරණ වෙන්න ඇති නේද ?

ඇත්තටම ඔච්චර මිලක් ගෙවලත් අපිට ඕන දේ නොදෙන කැමරාව මොකක්ද බන් ?

අපේ ඇහැ තරම් දියුණු කිසිම කැමරාවක් තවමනම් නැ. මේකෙන් කරන්නේ යම් තත්ත්ව යටතේ අපිට ඕනතැන ෆොටෝ එකක් ගන්න එක විතරයි. එතන කුණුගොඩක් තියන්නත් පුළුවන්, රත්තරන් තියෙන්නත් පුළුවන්. නමුත් ඒ මොකේ හරි අපි අල්ලගන්න මොහොත පවතින්නේ එකම එක වතාවයි. මලකට බඹරෙක් පියම්බද්දී අපිට ලැබෙන මොහොත අල්ලගන්න සුදානමින් ඉන්නේ අපි මිසක් කැමරාව නෙමෙයි. ඒ මොහොත වෙනුවෙන් ලෑස්තිවෙලා ඉන්න ඕන අපියි. අපි ඉන්න තැන, ඉන්න උස, කෝණය, දුර වගේ දේවල්වලට පස්සේ එක අල්ලගන්න කැමරාවට දෙන සෙටින්ස් ටික හදන එක ඔක්කොම තීරණය කරන්නේ අපියි. කැමරාව කරන්නේ එක අල්ලගන්න එක විතරයි.............. අර උඩ කියපු එකක්වත් නොකර ඔක්කොම
අපි කැමරාවට බාරදීලා නිකන් හිටියොත් හම්බෙයි උඹට මේන් කියලා ****ක්.....

එතනින් ඉවරද ? නැ ......... අපිට ඕන දෙය මුලින්ම මැවෙන්නේ හිතේ. ඊට පස්සේ අපි එක කැමරාවෙන් අල්ලගන්නවා. ඊටත් පස්සේ හිතේ මැවුන දෙය කැමරාවෙන් ආපු දෙයත් එක්ක සසඳලා අවසන් ප්‍රතිපලය ගන්නවා. එඩිට් කියන්නේ එකට...... ඒ කොටස අත අරින උන් ගැන කතා කරලා තේරුමක් නැ .........

මෙතන තියනවා මම ෆොටෝ ගන්න විදිය , කැමති අයට
1 ලිපිය
2 ලිපිය 

ඔන්න අන්තිමට කතා කරන්න දෙයක් තියන ෆොටෝ එකක් එලියට එනවා ..........

චාටර්ද Auto ?

නැ .... නැ .... නැමයි .........

හැබැයි කාගේවත් කීමකට නොනැමෙන යුග පුරුෂයෝ මොකටද කැමරාවට ඕන විදියට ෆොටෝ ගන්නේ? කැමරාවට කියහන්කෝ උඹට ඕන විදිය. ගනින්කෝ මැනුවල් දාලා.........
එතකොට දැනෙයි ඔලුවේ තියන පින්තුරය කොච්චර දුරකට කැමරාවෙන් එලියට ගන්න පුලුවන්ද කියන එක....
auto කියන කොටස තියෙන්නෙත් ෆොටෝ ගන්න තමයි. ( මමත් ඕන තරම් පාවිච්චි කරනවා ඔටෝ වගේම  එකට පස්සේ තියන ප්‍රෝග්‍රෑම් එකත්.) ඔටෝ කියන්නේ සරලවම කිව්වොත් උඹටයි මටයි වඩා දන්නා එවුන් කැමරාවට ලියල දීපු ප්‍රෝග්‍රෑම් එකක්. එහෙනම් ඔටෝම ගන්නවනේ. ඒ උනාට තමන් ඉන්නේ කොතනද , තමන්ගේ ඔලුවේ තියෙන දේ මොකක්ද කියන එක දන්නේ තමන්නේ..... අදින් පස්සෙත් autoම ගන්නවද ?

තව පොඩ්ඩෙන් හැලෙනවා

කැමරාව කියන්නේ මෙවලමක් ( සුළුතරයකට අවලමක් ) කොහොමහරි අපේ සංස්කෘතිය එක්ක බැඳිලා එන නිසාවෙන්ද කොහෙද අපි මේකට මාර ආදරෙයි. එත් මේක තවත් භාන්දයක්නේ කොච්චර උනත්. අවුරුදු කීපයකට කලින් මේ වීඩියෝව බලද්දී කුණුහරප කියවුනා. බැන්නා. වෛර කළා. එත් මේ තමයි මම ඉගනගත්ත හොඳම පාදම්වලින් එකක්. බලලා නැත්තන් බලන්න 1 කොටස, 2 කොටස. මොකක්ද මේ කියන්නේ කියලා තේරුම්ගන්න.
කැමරාව කියන්නේ කැමරාවක්. එක අම්මත් නෙමෙයි තාත්තත් නෙමෙයි, අයියා අක්කා නංගි මල්ලිත් නෙමෙයි , කෑල්ලත් නෙමෙයි ! ෆොටෝ එකක් ගනිද්දී අවධානමක් ගන්න බයවෙන්න එපා. පොඩි පොදක්, පින්නක් , දුවිලි ටිකක් වැදුනට තප්පර ගානකට ඕකට මොකවත් වෙන්නේ නැ....... හැබැයි කැමරාව කියන්නේ වේස ගනියෙකුත් නෙමෙයි. Hope you know what I mean


මහන්සියි බන්, ආපහු හම්බෙමු!
මාළුන්ට කන්න දාලම යන්න :)

කමෙන්ට්, සබ්ස්ක්රයිබ්, ෂෙයාර් ! පීස් බ්‍රෝ ;)







Sunday, March 8, 2015

අලුත් අත්දැකීමක්

ඔෆිස් එකේ වැඩක කොටසක් විදියට ටික දවසකට කලින් අවස්තාවක් ලැබුන ජ'පුර සරසවියේ ජනමාධ්‍යය සම්බන්දව විශාල වැඩ කොටසක් කරන J'pura Flames කණ්ඩායමට අලුතෙන් ආපු කට්ටියකට ෆොටෝ ගන්න විදිය ( ප්‍රායෝගික ) ගැන කියලා දෙන්න. ෆ්ලේම්ස් ගැන තව ටිකක් කිව්වොත් ඒගොල්ලො තමයි කැම්පස් එක ඇතුලෙ වෙන දේවල් ඉන් එලියට නොයෙක් ජනමාද්‍යය මගින් අරගෙන යන්නෙ. මොකද කියනවනම් රටේ ජනමාද්‍යාමගින් හැමවෙලාවෙම පෙන්නන්නෙ නරක විතරයිනෙ. ඒවනෙ ඉතින් මාකට් වෙන්නෙත්. වැඩේ ගැන ආපහු කතා කලොත් මුලින්ම කෝට්ටෙ දිනේශ් අයියාගෙ පාඩමකට පස්සෙ කට්ටියව කොටස්වලට බෙදලා ප්‍රායෝගිකව ෆොටෝ ගන්න හැටි කියලා දෙන්න එලියට ගියා. පලවෙනි දවස නිසා ලොකුලොකු බර දේවල් ඔලුවට නොදා ඔටෝ දාලාඩොටෝ ගන්න තමයි කිව්වෙ. මොකද කියනවනම් ෆොටෝ එකක තියන මොහොත තමයි වැදගත් වෙන්නෙ අනික් හැම දෙයටම වඩා. ඉතින් මට හම්බෙච්ච කට්ටිය එක්ක ගිහින් ගත්ත ෆොටෝ ටිකක් තමයි මෙතන තියෙන්නෙ. අලුත් තැනකට අලුත් කට්ටියක් එක්ක වැටුනට පස්සෙ මගෙත් මහලොකු වෙනසක් නෑ කියලා මටත් හිතුනා....
කොහොමහරි මට හම්බුනා කණ්ඩායමේගැනු ළමයි හතක හිටියා . අලුත් හයදෙනයි අපිට පාර පෙන්නන්න සීනියර් කෙනෙකුයි. අලුත් උනාට කට්ටියනම් හොඳයි , උනන්දුවෙන් වැඩ කළා. දෙයක් දකින්න උත්සහ කළා. සිදුවෙන දෙයක් අල්ලගන්න වගේම නිර්මානාත්මක දෙයක් කරන්නත් කට්ටියට පුළුවන් උනා . ඒගොල්ලන්ගේ ඇහැට දැක්ක දේවල් ටිකක් ඔන්න මම කපලා කොටලා හැඩ කළා........